අළුත් මන්දාකිණි විශේෂයක් - Green Peas



අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන මන්දාකිණි වර්ගීකරණය කිරීමේ ව්‍යාපෘතියක් වන Galaxy Zoo ව්‍යාපෘතිය මගින් නව ආකාරයක මන්දාකිණි විශේෂයක් සොයාගෙන ඇත. මෙම නව සොයාගැනීම මන්දාකිණි තුල නව තරු බිහිවන ආකාරය පිළිබඳව අළුත් තොරතුරු හෙළි කිරීමට උපකාරී වනු ඇත.

Galaxy Zoo හි මන්දාකිණි වර්ගීකරණය සිදුකරන්නේ අන්තර්ජාලය හරහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පිරිසක් විසිනි. එහිදී හමුවූ මෙම විශේෂ මන්දාකිණි වර්ගයේ වෙනස වන්නේ ප්‍රමාණයෙන් කුඩා වීම සහ වර්ණයෙන් කොළ පැහැ වීම යි. ඒ අනුව ඒවා ග්‍රීන් පී(ස්) ලෙස නම් කරනු ලැබිණි.

තවදුරටත් කරන ලද පරීක්ෂණ වලදී මෙම මන්දාකිණි තුල ඉතා වේගයෙන් නව තරු බිහිවන බව සොයාගැනුණි. මෙම මන්දාකිණි මෙතෙක් අපට හමුවූ ‍වැඩිම වේගයකින් තරු බිහිවන ඒවා බව යේල් සරසවියේ විද්‍යාඥයින් පවසයි.

Galaxy Zoo දත්ත ගබඩාවේ ඇති මිලියනයක් පමණ වන මන්දාකිණි වලින් 250ක් ම මෙම කොළ පැහැති මන්දාකිණි වර්ගයට අයත් වේ. ග්‍රීන් පී(ස්) මන්දාකිණි ආ.ව. බිලියන 1.5- 5ත් අතර දුරක පිහිටයි. ඒවා අප ක්ෂිරපථයට වඩා දහගුණයකින් කුඩා ය. නමුත් ඒවා තුල තරු බිහිවීම දහගුණයකින් වේගවත් ය.

Galaxy Zoo ව්‍යාපෘතිය 2007දී ආරම්භ කරන ලද අතර මේ වන විට ස්වේච්ඡා‍ පරීක්ෂකවරුන් 230,000ක් පමණ ඇත. ඔබටද මේ සඳහා දායක වීමට අවශ්‍ය නම් http://www.galaxyzoo.org වෙත පිවිසෙන්න.
Written by Anuradha Jayathilaka 
යේල් සරසවියේ වෙබ් අඩවිය ඇසුරිණි.
Picture Credit: Carolin Cardamone and Sloan Digital Sky Survey

No comments

Powered by Blogger.