තාරකාවිද්‍යාත්මක වස්තු විශේෂයක්


අධිස්කන්ධ කලුකුහරයක් වටා ඇති තරු පොකුරක, කලුකුහරය මණ්දාකිණියෙන් ඉවතට විසිවී ගිය පසු නව වස්තු විශේෂයක් බවට පත්වන බව සොයාගෙන ඇත.

The Astrophysical Journal වාර්තාවක මේ බව සඳහන් විය. මෙවන් "අධි සංයුක්ත තාරකා පද්ධති" (hypercompact stellar systems) රාශියක් දෘශ්‍ය ආලෝකය හරහා, අප අවට විශ්ව පරිසරය තුල හමුවිය හැකි බව විද්‍යාඥයින් තවදුරටත් ප්‍රකාශ කරයි. මෙවන් වස්තු දැනටමත් තාරකාවිද්‍යාත්මක සමීක්ෂණ මගින් සොයාගෙන ඇතැයි සැලකේ.

අධි සංයුක්ත තාරකා පද්ධති නිර්මාණය වන්නේ අධි ස්කන්ධ කලුකුහරයක් එහි ඇති තරු පොකුරද සමඟ ම මණ්දාකිණියකින් දැඩි වේගයකින් විසිවී යාමෙනි. එය තවත් අධිස්කන්ධ කලුකුහරයක් සමඟ එක්වීමෙන් පසුව කලුකුහරයට ආසන්නයෙන්ම ඇති තරු, කලුකුහරය වටා භ්‍රමණය වෙමින් පවතී.

තරුව කලුකුහරය වටා භ්‍රමණය වන වේගය ගණනය කිරීමෙන්, කලුකුහරය මණ්දාකිණියෙන් පිටතට විසිවූයේ කෙතරම් වේගයකින්ද යන්න සොයාගත හැකිය. දිගින් දිගටම කලුකුහරය වටා භ්‍රමණයවෙමින් පවතින්නේ, මෙම විසි වූ ප්‍රවේගයට (kick velocity) වඩා වැඩි වේගයක් ඇති තරු පමණි.

මෙම වර්ගයේ වස්තු විශාල වශයෙන් කොමා සහ වර්ගෝ තරුපොකුරු ආශ්‍රිතව දක්නට ඇති බවට අනුමාන කෙරේ. සමහරවිට දැනටමත් මෙවන් වස්තු සොයාගෙන ඇතත් ඒවා අධි සංයුක්ත තාරකා පද්ධති බව නොදන්නවා විය හැකිය. ඒවා සමාන්‍ය ගෝලීය තරුපොකුරු සමඟ වරදවා වටහා ගන්නට හොඳටම ඉඩකඩ ඇත. අධි සංයුක්ත තාරකා පද්ධතියක් හඳුනාගැනීමට ඇති හොඳම ක්‍රමය නම් එහි ඇති තරු අධි වේගයකින් පරිභ්‍රමණය වීමයි.
Written by Anuradha Jayathilaka   
Rochester Institute of Technology ඇසුරිණි


No comments

Powered by Blogger.