අහසේ තියෙන තරු තුනක් විදියට රුවන්වැලිසෑයයි මිරිසවැටියයි ජේතවනාරාමයයි හැදුවේ කොහොමද?

ඊජිප්තුවේ කයිරෝ නුවර ගිසාහි පිහිටි ලෝක ප්‍රසිද්ධ මහා පිරමීඩ තුන ඉහළ අහසේ පිහිටි ඔරයන් තාරකා මණ්ඩලයේ තාරකා තුනකින් සමන්විත පටියේ පිහිටීමට අනුව ඉදිකර ඇති බව පළමුවරට ලොව අනාවරණය වූයේ 1995 වර්ෂයේදීය. ඊජිප්තුවේ ඉදිකිරීම් පිළිබඳ ඉන්ජිනේරුවකු වූ රොබට් බවුවල් සහ නොපෙනෙන බලවේගයන්හි බුද්ධිය පිළිබඳ පර්යේෂණ කළ විශේෂඥ ලේඛකයකු වන ඒඩ්‍රියන් ගිල්බට් විසින් රචිත ඔරයන් අභිරහස (Orion Mystery - 1995) යන ග්‍රන්ථයෙන් මෙම උද්වේගකර, ආන්දෝලනාත්මක කරුණ එදා හෙළි කෙරිණි.

ඔරයන් තාරකා මණ්ඩලයේ බඳ පටිය ලෙස දිස්වෙන (Orion belt) තාරකා තුනේ පිහිටීමට සමානුපාතිකව ගිසාහි ඇති මහා පිරමීඩ තුන, එනම් ඛුෆු, (Khufu)" ඛෆ්රේ (Khafre), මෙන්කවුරා (Menkaura) පිහිටා ඇති බව Orion Mystery ග්‍රන්ථයෙන් අනාවරණය විය. ගී්‍රක දේව කතාවන්ට අනුව ඔරයන් තාරකා මණ්ඩලය හඳුන්වා ඇත්තේ දඩයක්කාරයා යන නමිනි. එදා සිට තරු මඬුල්ල Hunter (දඩයක්කාරයා) යන නමින් හැඳින්වේ. ඒ දණ්ඩක් හා දුන්නක් ගෙන අසිපතක් ඉණේ දරාගෙන සිටින දඩයක්කරුවකුගේ සිතුවමක් ඉන් මැවෙන නිසාය. දඩයක්කරුවාගේ සිතුවමේ ඉණ ප්‍රදේශයේ බඳ පටියක් සේ එක පෙළට දිස්වන තරු තුන නිසා Hunters belt නමින් හැඳින්වෙන්නට ඇතැයි සිතිය හැකිය. Orion belt නමින් හැඳින්වෙන්නේද මෙම තාරකා තුනයි. අල් නිටක් (Al Nitak), අල් නිලාම් (Al Nilam) සහ මින්ටාකා (Mintaka) නමින් හැඳින්වෙන මෙම තරු තුනේ පිහිටීමේ ස්වභාවය අනුව ඊජිප්තුවේ කයිරෝහි ගිසා ප්‍රදේශයේ මහ පිරමීඩ තුන ඉදිවී ඇත. එසේ සිදුවූයේ කෙසේද?

වර්ෂ 1995දී Orion Mystery ග්‍රන්ථය කියවා මහත් පුදුමයටත් කුතුහලයටත් පත් වූ ලොව පාඨකයන් තවත් පුදුමයෙන් පුදුමයට පත් කරන ආශ්චර්යවත් හෙළිදරව්වක් 1996 වසරේදී ප්‍රකාශයට පත් විය. මෙම හෙළිදරව්ව නිසා පුදුමයට පත්වූ ලෝක ජනතාවටත් වඩා ශ්‍රී ලංකාවාසී පාඨක ජනයා පත්වූයේ අරුම පුදුම තත්ත්වයකටය. මෙය ඔවුන් ආශ්චර්යයට, කුතුහලයට පත් කරන අනාවරණයක්ම විය. මේ ආශ්චර්යවත්, ආස්වාදජනක, කුතුහලය දනවන, ලංකාවාසී ජනතාවගේ ප්‍රෞඪත්වය විදහාපාන අනාවරණය සොයාගනු ලැබුවේ ශ්‍රී ලාංකිකයකුම විසිනි. ප්‍රකට සංචාරක මාධ්‍යවේදියකු, ඉතිහාසඥයකු, ග්‍රන්ථ කර්තෘවරයකු වන මොහු නමින් මිහිඳුකුලසූරිය සුසන්න ප්‍රනාන්දුය. මිහිඳුකුලසූරිය සුසන්න ප්‍රනාන්දු මහතා රාජකීය ආසියාතික සංගමයේ යාවජීව සාමාජිකයෙකි. 'ඔරයන් මිස්ටරි' (Orion Mystery ) ග්‍රන්ථය කියවා ලද ආහ්ලාදජනක ප්‍රබෝධය මෙම නව සොයා ගැනීමට ඔහුට ඉමහත් පිටිවහලක් විය.

වසර 2000කටත් වඩා පැරැණි මිරිසවැටිය, රුවන්වැලිය සහ ජේතවනය මහා ස්ථූපයන් ඔරයන් තාරකා මණ්ඩලයේ දකුණු පාර්ශ්වයේ තාරකා තුනේ පිහිටීමට සමානුපාතිකව ඉදි කර ඇති බවට කරන ලද හෙළිදරව්ව ඒ මහා සොයා ගැනීමයි. ඔරයන් තරු මඬුල්ලේ පිහිටා ඇති රිගෙල් (Rigel), මින්ටාකා (Miantaka) සහ බෙලාටි්‍රක්ස් (Bellatrix) තාරකා තුනේ ත්‍රිකෝණ පිහිටීමට අනුව අනුරාධපුරයේ මිරිසවැටිය, රුවන්වැලිය, ජේතවනය යන මහ සෑ රදුන් ඉදිකරනු ලැබ ඇති බව මිහිඳුකුලසූරිය සුසන්ත ප්‍රනාන්දු මහතා විසින් 1996 වසරේ පළමුවරට අනාවරණය කරන ලද්දේ “Alien Mysteries in Sri Lanka & Egypt” නම් වූ වටිනා ග්‍රන්ථය මඟිනි.

මේ ග්‍රන්ථය මඟින් දක්වන ලද අනෙක් වටිනාම හෙළිදරව්ව වන්නේ චෛත්‍යයන් තුන අතර ඇති දුර ප්‍රමාණයේ අනුපාතයද ඔරයන් තරු මඬුල්ලේ පිහිටා ඇති තාරකා තුන අතර ඇති දුර ප්‍රමාණවල අනුපාතයන්ද එක සමාන බවය. චෛත්‍යයන් තුනෙහි එකිනෙක පිහිටීමත් ඔරයන් තාරකා මඬුල්ලේ තරු තුනෙහි එකිනෙක පිහිටීමත් එකම ආකාරයට පවතින අතර චෛත්‍යයන් තුනේ එකිනෙක දුර ප්‍රමාණවල අනුපාතයන් හා තරු තුනෙහි දුර ප්‍රමාණයේ අනුපාතයන්ද එක සමානව පැවැතීම පිළිබඳ අනාවරණයෙන් අෑත අතීතයේ ලක්වැසි ජනතාවගේ බුද්ධිය හා ශිල්ප ඥානය මැනවින් විදහා දක්වයි. තාරකා සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ එදා ලාංකික ජනතාවගේ දැනුම හා බුද්ධිය මින් මොනවට කියා පායි. මෙම ආශ්චර්යවත් සොයාගැනීම දෙස් විදෙස් බුද්ධිමතුන් විසින් අනුමත කරන ලද අතර එය ඔවුන්ගේ නොමඳ පැසසුමටද ලක්වී ඇත. එදා ලක්දිව වාසීන් ශිල්ප ඥානයෙන්, බුද්ධියෙන් මෙන්ම දියුණු ශිෂ්ටාචාරයකින්ද යුක්ත වූවන් බව මෙයින් තව තවත් පැහැදිලි වෙයි.
“Architectural Remains, Anuradhapura, Sri Lanka by James G. Smither (අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක නටබුන්කර්තෘ ජේම්ස් ජී. ස්මිතර් - 1894) නැමැති ග්‍රන්ථයේ දක්වා ඇති සිතියමට අනුව රුවන්වැලි, ජේතවන සහ මිරිසවැටි චෛත්‍යයන් අතර දුර ප්‍රමාණය මිලිමීටර්වලින් දක්වතොත් මෙසේය.

රුවන්වැලියේ සිට ජේතවනයට දුර ප්‍රමාණය මි.මී. 34.6කි. ජේතවනයේ සිට මිරිසවැටියට දුර මි.මී. 74ක් වේ. මිරිසවැටියේ සිට රුවන්වැලියට මි.මී. 41.5කි. එනම්, රුවන්වැලි මි.මී. 34.6 - ජේතවන මි.මී. 74 - මිරිසවැටි මි.මී. 41.5 - (මෙම දුර ප්‍රමාණයන් Architectural Remains, Anuradhapura ග්‍රන්ථයේ සඳහන් සිතියමට අනුරූපව අඩුකළ මිලිමීටර් පරිමාණයට දක්වා ඇති බව සැලකිය යුතුය.
ඒ අනුව රුවන්වැලිය-ජේතවනය-මිරිසවැටිය අතර දුර ප්‍රමාණයන්හි අනුපාතය මෙසේය.
එනම් 1: 2.14: 1.20 වශයෙනි.

ඔරයන් තාරකා මණ්ඩලයේ බෙලටි්‍රක්ස්, රිගෙල්, මින්ටාකා තාරකා තුන අතර දුර ප්‍රමාණයන් “An Introduction to Practical Astronomy by Brian Johns (බ්‍රයන් ජෝන්ස් විසින් රචිත ප්‍රායෝගික තාරකා විද්‍යාවට හැඳින්වීමක්) යන ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි මෙසේය.
මින්ටාකා තාරකාවේ සිට බෙලටි්‍රක්ස් දක්වා දුර ප්‍රමාණය මි.මී. 11.7කි. බෙලටි්‍රක්ස් සිට රිගෙල් දක්වා දුර මි.මී. 25කි. රිගෙල් සිට මින්ටාකා දක්වා දැක්වෙන දුර ප්‍රමාණය මි.මී. 14.4කි. (මෙකී දුර ප්‍රමාණයන්ද අඩු කළ මිලිමීටර් පරිමාණයට දක්වා ඇත.)

ඒ අනුව මින්ටාකා-බෙලටි්‍රක්ස්-රිගෙල් තරු තුන අතර දුර ප්‍රමාණයන්හි අනුපාතය මෙසේය.
එනම් 1: 2.14 : 1.24 වශයෙනි.
අනුරාධපුරයේ රුවන්වැලිය, ජේතවනය, මිරිසවැටිය චෛත්‍යයන් තුනත් ඔරයන් තාරකා මණ්ඩලයේ මින්ටාකා, බෙලටි්‍රක්ස්, රිගෙල් තරු තුනත් එකම ආකාරයේ පසුතල සැකසුමක පිහිටා තිබීමත් චෛත්‍ය තුන සහ තාරකා තුන අතර දුර ප්‍රමාණයේ අනුපාතය සමවීමත් කෙසේ සිදුවීද? ඇත්තටම එය ආශ්චර්යයක් නොවන්නේද?

නන්දන තෙන්නකෝන්

No comments

Powered by Blogger.